බයක් දැනෙනවා තාමත් අම්මේ
මතක් වෙනකොට ඒ දවස අද වගේ
හැලහොල්මනක් නැතුව
සුදු සාරියක් දවටගෙන
ඇස් පියන් ගෙයි මැද්දෙ
නිදියගෙන හිටිය හැටි අපේ අම්මේ
අපි හිතුවෙ ඇත්තටම
අම්මා නිදි කියලා
ඒත් ඒ පෙට්ටියේ පියන වහලා
අම්මව කට්ටිය උස්සන් යන කොට
ඉබේම ඇඬුනේ ආයෙ නොයේවිද
කියලා නිකමට හිතුන නිසා
දැනගෙන හිටියානම් අම්මේ
ආයෙත් නොඑනා බවක් එදා
කවදාවත් යන්නට දෙන්නේ නැහැ අම්මේ
මහ රෑ තිස්සේ හොරෙන් අඬනවා
මම දැක්කා මතකද අම්මේ
බඩගින්නක් ආව නිසා ඇඬුනා
ඔයා එදා කිව්වා මතකයි අම්මේ
කිඹුලවලේ ලොකු කිඹුලෙක් ඉන්නවා
අම්මව ඌ ඇඳගෙන ගියාද අම්මේ
අපිවත් ඌ කයි කියලා බය හිතිලද
තනියම කිඹුල වලට බැස්සේ
කට්ටිය කියනවා අම්මා පැන්නලු
මම නම් තවමත් එහෙම හිතන්නෑ අම්මේ
අක්කයි මල්ලියි මාවයි දාලා
අම්මා තනියම කොහෙද ගියේ
අම්මා පෙට්ටියෙ ගියදාට පහුවදා
කුඩම්මා කියලා කෙනෙක්
අපේ ගෙදර නවතින්නට ආවේ
තාත්ත හරි සතුටින් එදා ඉඳලා හිටියා අම්මේ
ඉස්සර අම්මා ගුටි කෑවා වාගේ
කුඩම්මා ගුටි කනවා අපි නෑ දැක්කේ අම්මේ
ඒ වෙනුවට අපි තුන්දෙනාම
නිතර නිතර වේවැල් පාර කෑවේ
අම්මා කොයි ලෝකේ හිටියත්
අපි ලඟ ඉන්නවා වාගේ දැනෙනවා අම්මේ
ඒත් අම්මෙ එක පාරක් ඇවිදින්
තුරුල් කරන් අපි තුන්දෙනාව ඉස්සර වාගේ
ඉන්නට බැරි වෙයිදෝ කවදාහරි දවසක අම්මේ
"අම්මා" කියන්න පුලුවන් අම්මට විතරයි
මගේ රන් අම්මේ
ආසයි ආයෙත් "අම්මේ" කියලා
දුවගෙන ඇවිදින් තුරුල් වෙන්න අම්මේ
ශි | ව | න් | ති ඒකනායක
No comments:
Post a Comment