Tuesday, August 1, 2017

කෙටි කතාවක හැඩය ගැන යමක්



ශක්‌තික සත්කුමාර
"කතා කීමේ කලාව, වචන භාවිත කොට අදහස්‌ ප්‍රකාශ කිරීම ආරම්භය දුරාතීතයේ පටන් පැවත එන්නක්‌ බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. නූතන කතා කලාව ද එසේ ආරම්භ වූ ජන කතාවේ ම වර්ධිත අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකිව තිබේ. මහා භාරත කතා, ජාතක කතා, බයිබල් කතා, කැන්ටබරි කතා, ඊසොප්ගේ කතා ආදී රට රටවල විවිධ ස්‌වරූප ගනිමින් ව්‍යාප්ත වූ කතා කලාවේම ශාඛාවක්‌ ලෙසින් කෙටි කතා කලාව පසුකාලීනව වර්ධනය වූ බව ද එහි විකාශය අද දක්‌වාම අඛණ්‌ඩව සිදුවෙමින් පවත්නා බව ද පෙනී යයි. කෙසේ වුවත් අප නූතන කෙටි කතාව ලෙස හඳුනා ගන්නා කලාංගය ඊටම සුවිශේෂී අනන්‍යතාවක්‌ ප්‍රකාශ කරන කලාංගයක්‌ වශයෙන් වර්ධනය වීම ආරම්භ වන්නේ 19 වැනි සියවස මැද භාගයේ යුරෝපයේ බැව් කෙටි කතා කලාවේ ආරම්භය පිළිබඳ අදහස්‌ දක්‌වන බොහෝ විද්වතුන්ගේ මතය වේ.

නූතන කෙටි කතාවේ ස්‌වභාවය ඉතා සංකීර්ණ අන්තයන් කරා ළඟා වෙමින් යම් යම් ජයග්‍රහණයන් අත්පත් කර ගෙන සිටී. වචන අර්ථයෙන් ගත් කල අද කෙටි කතාව එහි පුරෝගාමීන් දෙදෙනා මත එසේ යෑයි සලකනු ලබන (විශේෂයෙන් සම්මත අධ්‍යාපන ක්‍රමවේදය තුළ) චෙකොµa සහ මෝපසාංගෙන් අර්ථ ගන්වා ගත හැක්‌කාක්‌ මෙන්ම ඉන් ඔබ්බට ද ගමන් කොට ඇත්තේය. චෙකොµa සහ මෝපසාං යන සුවිශේෂ කතාකරුවන් දෙදෙනාගේ වැඩබිම බවට පත් ව තිබූ 19 වැනි සියවසට වඩා, වඩාත් සංකීර්ණ සමාජ පසුබිමකට සහ මිනිස්‌ හැසිරීම්වලට අනුකූලව අද අපට කතා ලියන්නටත් ක්‍රමවේදයන් සොයා ගැනීමටත් සිදු වී ඇත්තේ ය.

වරක්‌ ජෝසµa බර්ග් එසන්චීන් නම් විචාරකයා නූතන කෙටි කතා කලාව පිළිබඳව විවරණයක යෙදෙමින් කෙටි කතා ගණයෙහිලා නොසැලකෙන නිර්මාණ විශේෂ 06 ක්‌ මෙසේ පෙන්වා දී ඇත.

1. කෙටි කතාව සංක්‍ෂිප්ත නවකතාවක්‌ නොවේ 2. එය උපාඛ්‍යානයක්‌ නොවේ 3. එය කෙටුම්පතක්‌ හෝ දළ සටහනක්‌ හෝ නොවේ 4. එය චරිත කතාවක්‌ නොවේ 5. එය හුදු චරිතාලේඛයක්‌ නොවේ 6. එය කතාන්තරයක්‌ නොවේ.

අනතුරුව ජෝසµa බර්ග් එසන්මීන් කෙටි කතාවක්‌ ලෙස සැලකීමට එහි ඇතුළු විය යුතු අංග 07 ක්‌ පෙන්වා දී ඇත්තේ මෙසේ ය.

01. සියල්ල අභිබවා සිටින එක්‌ ප්‍රබල සිද්ධියක්‌ 02. ඉස්‌මතු වී පෙනෙන එක්‌ ප්‍රධාන චරිතයක්‌ 03. පරිකල්පනය 04. කතා වින්‍යාසයක්‌ 05. සියල්ල එකට කැටි වී තිබීම

06. සංවිධානාත්මක බව 07. ධාරණාවේ ඒකත්වය

ඉහත සඳහන් පරිකල්පනය, කතා වින්‍යාසය හෙවත් කතා රටාව ආදී කරුණු කෙටි කතාවට මෙන් නවකතාවටද අදාළ වේ. ඇතැම් විචාරකයන්ගේ අදහස වන්නේ උක්‌ත කරුණු අතරින් කෙටි කතාවට පමණක්‌ අදාළ වන විශේෂ ලක්‍ෂණය වන්නේ ඒකීය ධාරණාව පමණි. ඒකීය ධාරණාව යනු එක්‌ අරමුණක්‌ පමණක්‌ තිබීමය. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට උපකාර නොවන කිසිදු දෙයක්‌ කෙටි කතාව තුළ තිබිය යුතු නැත. එමෙන්ම තම අරමුණ නිම වූ වහාම කෙටිකතාකරුවා කතාව ද අවසාන කරයි. කතාවේ ඇතුළත් හැම කරුණක්‌ම ඒකීය ධාරණාව ඉටුකර ගැනීමට උදව් කර ගත යුතු බව රුසියන් ජාතික කෙටිකතා කරුවකු වන ඇන්ටන් චෙකොµaගේ මතයයි. එකී මතය සනාථ කරන ඔහුගේ ප්‍රසිද්ධ කියමනක්‌ සාහිත්‍ය සමාජ තුළ නිතර අසන්නට ලැබේ.

"කතාව ආරම්භයේදී ඉස්‌තෝප්පුවේ බිත්තියේ තුවක්‌කුවක්‌ එල්ලා තිබෙනු සඳහන් වුවහොත්, එය කතාව අවසන් වීමට පෙර පත්තු විය යුතු ය."

කෙටි කතාව එකම පුවතක්‌ ගැබ් කොට ගත යුතුය යනු ඇතැම් කෙටිකතාකරුවන් විසින් පිළිගනු ලැබූ අදහසකි. ලොව රචනා වී ඇති බොහෝ සාර්ථක කෙටිකතාවලින් ඉතා විශාල කොටසක්‌ එකම සිද්ධියක්‌ ආශ්‍රිතව රචිත කතාය. සිද්ධීන් එකකට වඩා කෙටි කතාවක නොතිබිය යුතු ය යන අදහස තහවුරු වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ සිදුවීම් එකකට වඩා ඇති කෙටි කතාවක්‌ සාර්ථක ලෙස රචනා කිරීමට අපහසු වීම නිසා ය. කෙටි කතාවකට එකම සිද්ධිය පමණක්‌ පාදක වූ කතාවේ අංගෝපාංගවලට ඒකාබද්ධතාවක්‌ ඇති කිරීම දුෂ්කර නොවේ. එහෙත් කෙටි කතාව එකම පුවතකින් පමණක්‌ යුක්‌ත විය යුතුය යන අදහස ලොව බිහි වූ සෑම කෙටිකතාකරුවකු විසින්ම එකහෙළා පිළිගනු ලැබ නැත. සිදුවීම් ගණනකින් යුක්‌ත වූ කෙටි කතාව, එකම සිදුවීම පමණක්‌ කේන්ද්‍ර කොට ගත් කෙටි කතාව මෙන් රසාලිප්ත නිර්මාණයක්‌ විය හැකි බැව් විශ්ව කීර්තියට පත් කෙටිකතාකරුවකු වන ඇන්ටන් චෙකොµaගේ 'පළගැටියා', 'හයේ වාට්‌ටුව' බඳු කෙටිකතාවලින් පෙනේ.

දක්‍ෂ කෙටිකතාකරුවකු වූ දයාසේන ගුණසිංහයන් කෙටි කතාව හඳුන්වා දුන්නේ ජීවිතයේ සමීප රූපයක්‌ ලෙසටය. දැස හෝ මුව වැනි ඉන්ද්‍රියයන් සමීප රූපයට නැගෙන විට, මුහුණේ අවශේෂ අවයව සමඟ මුහුණ ද අදෘෂ්‍යමාන වී යයි. මෙසේ දෘෂ්‍යමාන ව තිබූ බොහෝ දැ අදෘශ්‍යමාන වී යෙත්ම අදෘශ්‍යමානව තිබූ බොහෝ දැ දෘශ්‍යමාන වීම ද සමීප රූපයෙහි ලක්‍ෂණයකි."

නවකතා කතුවරියක ලෙසින් ප්‍රකට ඉසබෙල් අයියන්දේ කෙටිකතාකරණය හඳුන්වා ඇත්තේ ඉලක්‌කයට කැරෙන හී විදුමක්‌ ලෙසිනි. කෙටිකතාකරුවකුට වෙනස්‌ වෙනස්‌ අරමුණු රැසක්‌ තිබිය නොහැකි බැව් මේ ප්‍රකාශනයෙන් ගම්‍ය වේ. මුළු මහත් සාගරයේ රුව ගුණ උරා ගනිමින් වෙරළාසන්නයේ සිදුවන කෙටි බෝට්‌ටු සවාරියකට කෙටි කතාව සම කළ අවස්‌ථාවක්‌ මගේ මතකයෙහි වේ. දියෙහි වැටුණු තෙල් බිඳක්‌ මෙන් කෙටි කතාව ද බහුවිධ වර්ණ, රූ රටා මවන්නා වූ අපූර්ව නිර්මිතියක්‌ බැව් තවත් අදහසකි.

මුල, මැද, අග සහිත කතාන්දරයක්‌ ලෙස බිහිවන කෙටිකතාව පසුව ජීවිතයේ හරස්‌ කැපුමක්‌ නැතහොත් ජීවිතයේ පෙත්තක්‌ යන විවරණයන් ද සමතික්‍රමණය කරමින් වර්තමානය වන විට නව මඟක ගමන් කරමින් තිබෙන බව පෙනේ. නුතන කෙටි කතාවේ රුව ගුණ හඳුනා ගැනීමේදී, මෙරට ප්‍රවීණ කවියකු වන ආරියවංශ රණවීරයන් කෙටි කතාව පිළිබඳව දක්‌වා ඇති අදහස මෙහිදී උපුටා දැක්‌වීම වටිනේය.

"කෙටි කතාවත්, කවියත් නිවුන් සොහොයුරන් වැන්න. කළුවර රාත්‍රියක, කෙටූ විදුලියක්‌ නිමේෂයකින් මහා ප්‍රදේශයක්‌ හෙළි පෙහෙලි කරන්නාක්‌ මෙන් කෙටි කතාව තෝරා ගත් සිද්ධි කිsහිපයක්‌ හා අර්ථ පූර්ණ බස්‌ වහරක්‌ ද තුළින් මහා ජීවන ප්‍රදේශයක්‌ කරා එළිය විහිදවිය යුතුය. ගැඹුරු ජීවිත පරිඥානයක්‌ හා බස හැසිරවීමෙහිලා කවියකු සතු ශක්‌තියක්‌ නැත්තෙකුටද හොඳ කෙටිකතාකරුවකු විය නොහැක."

කෙටි කතාව නවකතාව හා සම්බන්ධ කොට තේරුම් ගැනීමට කැරෙන උත්සාහයක්‌ ද ඇතැම් විට හමු වේ. එබඳු උත්සාහයක්‌ දෙස බැලීමේදී පෙනී යන කරුණක්‌ නම්, කෙටි කතාව ඊටම ආවේණික, සුවිශේෂ ලක්‍ෂණ සහිත සාහිත්‍යාංගයක්‌ ලෙස හඳුනා ගැනීමට ඒ කරුණු දැක්‌වීම බාධාකාරී ලෙස බලපාන බව පමණකි. නමුත් එසේ බාධාකාරී නොවන මැදහත් විචාර ද අපට කලාතුරකින් හමු වේ. කෙටි කතාව හා නවකතාව යන සාහිත්‍යාංගයන් දෙක අතර පවතින වෙනස පිළිබඳව මහාචාර්ය විමල් දිසානායක මහතා කරුණු දක්‌වා තිබෙන්නේ මෙසේ ය.

"මට වැටහෙන පරිදි කෙටි කතාවත්, නවකතාවත් අතර වෙනස ර¹ පවතින්නේ ධාරණාව පිළිබඳ ප්‍රශ්නය උඩය. කෙටි කතාව එක්‌ ප්‍රබල ධාරණාවක්‌ ඉදිරිපත් කරයි. එහෙත් විස්‌තෘත අත්දැකීම් නිරූපණය කරන නවකතාවක්‌ තුළින් ධාරණා රාශියක්‌ ඉදිරිපත් කරනු ලැබේ. වෙනත් වචනවලින් පවසතොත් කෙටි කතාවක අත්දැකීම එක්‌ ප්‍රබල මොහොතකට සම්බන්ධ වී ඇත. එහෙත් නවකතාවක අත්දැකීම් එබඳු අවස්‌ථා රාශියක්‌ හා සමඟ බැඳී පවතී."

නවකතාවට පිවිසෙන ද්වාරයක්‌ ලෙස කෙටි කතාව සැලකෙන බව ද ඇතැම් අදහස්‌ දැක්‌වීම් අනුව පැහැදිලි වේ. ඒ අනුව කෙටිකතාකරණයේ සෑහෙන කලක්‌ නිරත වූවකු ඊළඟට නවකතාකරණයට පිවිසීම උචිතය. නමුත් කෙටිකතාව එබඳු චූල යමක්‌ නොවේ. යම් සේ නවකතාව මහා සාහිත්‍යාංගයක්‌ වන්නේද. කෙටි කතාව ද ඊටම සුවිශේෂී පෞරුෂයකින් හෙබි මහා සාහිත්‍යාංගයකි.
 
Powered By - 

No comments:

Post a Comment

අම්මෙි

බයක් දැනෙනවා තාමත් අම්මේ මතක් වෙනකොට ඒ දවස අද වගේ හැලහොල්මනක් නැතුව  සුදු සාරියක් දවටගෙන ඇස් පියන් ගෙයි මැද්දෙ නිදියගෙන හිටිය ...